Thursday, May 31, 2012

අම්මා ගෙදර එක්ක ආවා...


අද අම්මාව ගෙදර එක්ක ආවා.
අප්‍රේල් මාසේ 10 ඉදන් අද වෙනකල් අම්මා
ඉස්පිරිතාලේ ඇදක් උඩ හිටියේ. ඔපරේෂන් 2කට
පස්සේ ඒත් කලින්ටත් වඩා අසනීපයෙන් අම්මව
ආයෙත් එක්ක එන්න උනේ.
මම ඔෆිස් එකේ ඉන්නකොට අම්මා අක්කගේ
ෆෝන් එකෙන් කතා කරලා කියනවා
පුතා අද ‍එනකොට හොද ලොකු කේක් එකක් අරන්
එන්න ඉස්පිරිතාලේ අයට දෙන්න කියලා.
මෙයාලා නිසානේ මට ඉක්මනින් ගෙදර යන්න
පුලුවන් උනේ.




පුද්ගලික ගිලන්රථයක අම්ම එක්ක එනකොට
අම්මගේ හිතේ තව දවස් දෙකකින් තුනකින් අම්මාට
සනීප වෙයි. නංගිගෙ මගුල් ගෙදර යන්න පුලුවන් වෙයි
කියලා. බෙහත් කරපු දොස්තරලටයි හෙදියන්ටයි
හැමෝටම කියලා පොඩි දුවගේ මගුල් ගෙදර නිසා
ඉක්මනින් ටිකට් කැපුවා කියලා.
පවු අද එක්ක ආවට රෝද පුටුවෙ යන විදියට වත්
ඉන්න බැරිව අම්මා කොහොමද නංගිගෙ
මගුල් ගෙදර යන්නෙ...

Sunday, May 27, 2012

මොනවද අද කෑමට ගෙනාවේ...


මොනවද අද ගෙනාවේ..
ඔන්න මට ඉදආප්ප කන්න බෑ.
කිරිබත් අද එපා.
මුං ඇටත් එපා.
ආප්පත් කාල ඇති වෙලා.
අම්මා උදේම කෑම අරන් ගියාම එහෙම කිව්වෙ
 මේ කෑම කාලා ඇතිවෙලා නිසාම නෙවෙ.
කන්න බැරි නිසයි. ඊයේ ඩොක්ට කිව්වා අම්මා කෑම කන්නේ
නැත්තේ අක්මාවට පිළිකා සෛල ගිහින් තියන නිසා කියලා.
ඒත් කොහොම හරි කන්න දෙන්න ඕනනි. ඒක නිසා
මම අද හැම කෑම ජාතියකින්ම අරන් ගියා.
එතකොට එකක් එපා කිව්වොත් තවඑකක් තියනවානේ.

හොද වෙලාවට ඉදිආප්ප/කිරිබත්/මුං ඇට ආප්ප වලට අමතරව
බනිස් ගෙඩියක් අරන් ගියෙ. කෙසල් එක්ක බනිස් කෑවා බාගයක් විතර.
දැන් නම් විනාඩි 5-6කට අම්මා ඇදේ වාඩිවෙලා ඉන්නවා.
මෙහෙම ටික ටික අඩු උනොත් හරි.


රෝද පුටුවෙ හරි නංගිගේ වෙඩින් එකට යාගන්න පුලුවන් උනොත්
ඒක අම්මගේ ලොකුම බලාපොරොත්තුවක් ඉෂ්ට කලා වෙනවා.


මගේ අම්මට බුදු සරණයි.!!

Saturday, May 26, 2012

පොල් කිරිබත්.....

හෙට උදේට අම්මට මොනවද ගේන්න ඕන කියලා
අහනකොට අම්මා ඊයෙ කිව්වා මට කිරිබත් ගේන්න කියලා.
"අම්මා ඉතින් කිරිබත් කන්න ආසයිනේ මම ගේන්නම්.
අම්මට මතකද අපි පුංචිකාලේ අම්ම පොල්දාල කිරිබත් හදලා දෙනවා
මම ආසයි ඒවට නම්."


"මට මතකයි. ලුණු මිරිසක් හදන්නවත් ගෙදර මොනවාවත් නැති වුන දවසට
පොලුයි ලුණුයි දාලා මම එහෙම හදලා දුන්නෙ ඔයාලත් රසයි රසයි කියලා
කෑවා.." අම්මා හිනා වෙලා කියද්දියි මට මතක් උනේ එහෙම කෑමක් අම්මා 
අපිට හදලා දුන්නට මම කාවදාවත් වෙන කොහෙන්වත් එහෙම කාල නෑ නේද කියලා..


‍අපේ බඩගින්නේ නොතියා සනසවන්න අම්ම කරපු පුංචි පුංචි කපටි වැඩ.


අම්මව ගෙදර එක්ක ගියාම අම්මගෙන් අහල අක්කට කියලා හදලා කන්න ඕන..

වරකා පොලොස් කැද



අද ආයුර්වේද ඩොක්ටර් කෙනෙක ලගට
 ගියා අම්මාගේ අසනීපයට බෙහෙත් අහගෙන එන්න.
එයා රත්තරන්/මුතු දාපු බෙහෙත් එකක් දෙනවාලු
පිලිකා ලෙඩුන්නට.
කීයක් ගියත් කමක් නෑ.මුලු සේසතම වියදම් වෙලා
පාරට වැටුනත් කමක් නෑ අම්මට සනීප වෙලා.
එහෙම හිතාගෙන තමයි ඩොක්ටර ලගට ගියේ
අම්මගේ වෛද්‍ය වාර්තා බලලා ඩොක්ටර් කිව්වා
වරකා ගස්වල ගැට පොලොස් වලින් කැද එකක්
බොන්න දෙන්නම් දවස් 14කට ඊට පස්සෙ ඒකට
ගුණයක් තියනවානම් අපි අනික් බෙහෙත් එකකට යමු කියලා.
හොයාගන්න පුලුවන්ද වරකා ගස් වල පොලෙස් ගෙඩි 14ක් කියලා අහනකොට
මම කිව්වා අම්මව සනීප කරගන්න පුලුවන් නම් හදෙන් පස් හරි ගේන්න
මට පුලුවන් වෙයි කියලා.
මම හිතලා නෙවි. මට එහෙම කියවුනා.
ඩොක්ටර් ට මගෙන් සල්ලි ගන්නෙත් නැතිව
කිවුවා බලමු අපි මේ බෙහත් දීලා කියලා.
අම්මව එක්ක ගිය ගමන් වරකා පොලොස් හොයලා
බෙහෙත් දෙන්න පටන් ගන්න ඕන.
ඒත් දවසින්දවස කෑම කන එක අඩු කරන කොට
අම්මා මේ බෙහෙත් වත් බොයිද?


මේ බෙහෙත් වලින් හරි හොද උනොත් ඒක
අම්මගේ වාසනාවටත් වඩා අපේ වාසනාව..!!

Thursday, May 24, 2012

කෑම ඔක්කොම කෑවා..



ඊයෙත් හරියට කෑමක් නෑ.
ඒත් අම්මා අද නම් මම ගෙනාපු කැද සෙරම බිව්වා.
පවු. අම්මාට ඇදෙන් වාඩිවෙන්න බැරි උනත් අම්මා
හිතන් ඉන්නෙ කොහොම හරි නංගිගේ මගුල් ගෙදර යන්න
ඕන කියලා.
හිතේ හයියට කෑම කෑවට මම දන්නවා අම්මා කොච්චර
අසනීපෙන්ද ඉන්නෙ කියලා.
නිදාගෙන ඇස් දෙක අරින හැම වෙලේම
අහන්නෙ අපිට කොච්චර නම් මගුල් ගෙදර වැඩ
තියනවාද? මම මෙහෙම හිටියම හරියනවාද?
කොහොමද ඒව කරගන්නෙ කියලා..




අම්මගේ හැම සිතුවිල්ලක්ම අපි වෙනුවෙන්..
එක දවසක වත් තමන්ගේ අසනීපයක් ගැන
හිතුවෙ නෑ..  

Friday, May 18, 2012

ඉන්දියාව....



අද නදීශා නංගි කතා කලා..
එයා හෙට ඉන්දියාවෙ යනවා අම්මත් එක්ක.
දවල් මම ගියාම අම්මත් එක්ක කතා කරද්දි
අහනවා මොනවද මම ඉන්දියාවේ ගිහින් එනකොට
ගේන්න ඕන කියලා..
"මොනවත් එපා අනේ.
ඔයා ඉන්නවනෙ ඒ ඇති."
කියලා කිව්වා..
ඒත් කෝ ඔයා..?

Thursday, May 17, 2012

නියම යාලුකම මනුස්සකම...


අද හවස 3ට විතර 
කැන්ඩි දිලිනි තව යාලුවෙක් එක්ක අම්මාව බලන්න ඇවිත් ගිහින්.
එනකොට අම්ම බෙ‍ෙහත් බීලා නිදිලු හොදටම..
දෙන්නම අඩලා අඩලා ගිහින් තියෙන්නෙ. අම්ම ලග බලාගන්න අද 
දවල් ඉදපු කෙනා කිව්වෙ.හොද වෙලාවට අම්ම නිදියගෙන ඉදලා තියෙන්නෙ
නැතිනම් බලයි ඇයි මෙ අදුනන්නෙ නැති දෙන්නෙක් අඩන්නෙ කියාලා.

නියම යාලුකම මනුස්සකම කියන්නෙ මේකට වෙන්න ඇති.
කොහොමත් යාලුවෙක් විදියට හැමදාම මගේ කරදරේකදි ලගින් හිටිය.
ඒක අමතක කරන්න බෑ.

එයාගේ අම්මා හිටපු මේට්ට්‍රන් හෙඩ් කෙනෙක් නිසා කොළඹ මේට්‍රන්ලගේ හෙඩ්ට
අදත් කතා කරලම ගියාලු..කලින් දවසකත් ‍ෆෝන් කරල අම්මගේ විස්තර 
කියලා තිබුනා..

Tuesday, May 15, 2012

මගේ දුක තේරෙන කව්රුත් නෑ..



අද දැනුන දුක බෙදාගන්න කතා කරන්න ඕන මේ වෙලාවෙ කාත් එක්ක හරි.
ඒත් මගේ දුක තේරෙන කව්රුත් නෑ.. ඒක නිසාම ලියලා තියන්නම් කවද හරි මටම බලන්න.




ඊයෙ ඩොක්ට ඩිහාන් ලගට ගියා. ඒ මම ඒ  ඩොක්ට ලගට ගියපු 7වෙනි පාර.
අද අම්මගේ රිපෝට් අරන් ඇපලෝ එකේ ඩොක්ටර් බලවර්‍‍‍‍‍‍‍‍‍ධන ලගට ගියා
ඊචැනලින් කරලා. පිළිකා සම්බන්‍ධව ඉන්න අනික් හොදම කෙනා 
එයා නිසා. මම හිතුවෙ එයා හරි අම්මගේ අසනීපය ගැන හොදකරගන්න
විදයක් කියාවි කියලා. ඒත් මගේ අවාසනාව එයත් කිව්වෙ 
"මේ කැන්සර් එක දසලක්ෂයකින් කෙනෙක්ට හැදෙන්නෙ.
 මේ ඉන්න තත්වයට කරන්න පුලුවන් 
එකම දේ කීමෝතෙරපි ඉන්ජක්ෂන් එක විතරයි. ඒකත් මේ වයසට ඔරොත්තු දෙන්නෙ නෑ කියලා."


"ඩොක්ටර් අම්මව රට අරන් ගිහින් හරි සනිප කරගන්න බැරිද "කියලා මම ඇහුවෙ
ඩොක්ටර් ඩිහාන් අම්මව රට අරන් ගියත් වැඩක් නැ කියලා කියපු එක දැන දැනමයි.


"පුතා අම්මට බෙහෙත් නෑ. රට අරන් යන්න වැඩක් නෑ. ඔයාගේ සල්ලි නාස්ති කරන්න
එපා. ආයෙ මාව හම්බවෙන්න එන්නත් එපා!. අම්මට ලෙඩේ කිව්වෙ 
නැති උනාට කමක් නෑ.කැමති කෑමක් බීමක් දිලා සතුටින් තියන්න."


කොහොමද මේ වචන අහගෙන හිටියෙ කියලා මම දන්නෙ නැ. ඇස්දෙක පේන්නැතිව වගෙ උනා. 
අම්මා නෙවියි අම්මෙ අවාසනාවන්ත..
මේ විදිහට අපිත් එක්ක ඉදලා කොහොමද දරාගන්නෙ අම්ම නැතිව මම..?


මිනිස්සු සල්ලි වලට කොච්චර කෑදරද?
මම හිතුවෙ හදිසියේ මම කෝටිපතියෙක් වෙලා ඉපදිලා හිටිය කියලා හිතමු.ඒත් වැඩන් නෑ නේද?


මට බැරි වෙනවා නේද අම්මව බේරගන්න. 


මේකම නේද බුදුහාමුදුරුවො කිව්වෙ මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නෑ කියලා.
ඒත් අම්ම මේ විදියට දුක් විදිනවා බලාගෙන ඉන්න පුලුවන් මොන දරුවටද?

Sunday, May 13, 2012

වේදනාව..අතරින්..


ඊයේ අම්මගේ ඔපරේෂන් එක. දැන් ටිකාක් රිදෙනවා.
හිරිගතිය දැන් නැතිවෙන නිසා වෙන්න ඇති.
අව සිහියෙන් වගේ කියවනවා.
රිදෙනවා ඇති ගොඩාක්.
ඇස්වල කදුලු නොවැටුනාට හිතෙන් මම ගොඩාක්
ඇඩුවා. අම්මා ඉකි ගහන වාරයක් ගානේ.
තාත්ත දවල් ආවා.
තාත්තට නම් කදුලු නතර කරගන්න බෑ.
අම්මා එච්චර රිදිලත් තුවාලේ වේදනාව අතරින් කියනවා
තාත්තට, ඔයා අඩන්න එපා. දැන් හරියයි. ඔයා ගෙදර යන්න කියලා.
අද රද්දොලුවෙ සුදු නැන්දා අම්මා ලග නතර වෙන්න කෙනෙක් එක්ක
ආවා. ඒත් ඊයෙ ඔපරේෂන් කරපු ගමන් නිසා අක්කා අද රැ
නතර උනා. පවු අක්කත් උදේ ආපු ගමන්.

තාත්තගේ උපන්දිනේ..



අදත් පුරුදු විදියට හැමදේම වුනෙ.
ඊයෙ ඔපරේෂන් එක නිසා උදේ වරුවෙ
වේදනාව තිබුනා.. ඒත් හවස ටිකාක් අඩුවෙලා.
අද
කාටවත්මතක තිබුනෙ නෑ තාත්තගේ
උපන්දිනය.
හවස අම්මාව බලන්න ගියාම අම්මාම
කියන කල් මතක් උනේ නෑ..
අපි තුන්දෙනාට කවදාවත් මග ඇරිලා නෑ
තාත්තගේ උපන්දිනයට සුබ පතන්න කවදාවත්ම..
මම රට ඉදිද්දිත් උදෙන්ම කතා කලා හැම අවුරුදුදෙම.
ඒත් අද..
අපි කාටවත් මතක තිබුනෙ නෑ..
අඩු තරමේ තාත්තටවත් මතක නෑ
එයාගෙ උපන්දිනය අදයිකියලා.
ඒත් අම්මට අමතක වෙලා නෑ.
ඇයි ඔයාලට අමතක වුනේ කියලා මගෙන්
අහනවා..
අම්මව බලන්න එන එකනේ මගේ සිහියෙ තියෙන්නෙ
ඒක නිසා අමතක උනා කියලා කිවුවම
අම්ම කිව්වා..
"මාව බලන්න එන එක නෙවී තාත්තවත්
බලන්න. වෙලාවට බෙහෙත්බොනවද කනවද කියලත් බලන්න"


කිසිදවසක තාත්තට බෙදන්නෙ නැතිව
බත් කටක් කාටවත් නොදුන්න අම්මා
ලෙඩ ඇදේ ඉදනුත් තාත්ත ගැන හිතන හැටි..


දවල් තාත්ත ආවම අම්ම සුබ පැතුවා..
තාත්ත කියනවා "ඔයා ගෙදර අවාම අපි උපන්දිනය
සමරමු" කියලා.
ඒත් තාත්තා දන්නවා අම්ම එක්ක ආව කියලත් අපිට
සතුටින් ඉන්න බැරි බව..

Saturday, May 12, 2012

ඔපරේෂන් එක කලා කියලා




අක්ක උදේ ආවා.
අනික් ලෙඩ්ඩු ‍ඔපරේෂන් කරනවා කිව්වම
හොදට බයවෙනවා.ඒත් අම්මා ඔපරේෂන් එකට නම්
බය නැ. අම්මට ඕන කොහොම හරි ඉක්මනින්
ගෙදර යන්න. නංගිගේ වෙඩින් එකේ වැඩ තියනවා
පුතා ගොඩක් කරන්න. එයාට කාඩ් හදන්නවත්
උදව් කරන්න ඕන කියලා හැමදාම කියවනවා..
ඒත් අම්ම දන්නවනම් මේ ඔපරේෂන් එක කලා කියලා
අම්මට ඇවිදගන්නවත් ලෙඩේ හොදටම හොද වෙන්නෙවත්
නෑ කියලා...
කොහොමද අම්මෙ කියන්නෙ අපිව දාලා යන්න හිත
හදාගන්න කියලා..

අද අම්මගේ ඔපරේෂන් එක


උදේම අම්මාව බලන්න ගියා. යනකොටත් නංගි අම්මාව
ලෑස්ති කරනවා ඔපරේෂන් තියටර් එකට යන්න ඕන නිසා.
අම්මා නම් හිනා වෙලා හිටියා.  අද ඔපරේෂන් එකෙන් පස්සෙ ඉක්මනින් ටිකට්
කපාවි නේද පුතා කියලා අහනකොට දෙනන උත්තර නැතිව ගියා පුරුදු පරිදිම.
අම්මෙ ඉක්මනින් තුවාලෙ සනීප උන ගමන් ටිකට් කපාවි.
පෙෂර් එකයි සීනියි දෙකම සාමාන්‍ය විදියට තියනවා.
අම්මා නංගිගේ වෙඩින් එකට යන්න ඕන හින්දම හැමදේම දරාගන්නවා
කියලා හිතනකොට හරිම දුකයි..
එහෙම තමයි අම්මගේ ආදරේ..ඒකනේ කිසිදෙයකට සම කරන්න බැරි..




නංගි කිව්වා ඊයේ රෑ 2 ඉදන් ඇහැරලා ඔපරේෂන් එකට
ලෑස්ති කරන්න කියලා කියනවලු. පව් නංගිත් නිදි නැතිව ඇති
මූණ බැලුවම හොදටම මැලවිලා. තව දවස් කීයද මගුල් ගෙදරට එයාගේ.
වෙන අය නිකමටවත් අව්වට නොයා.. නිදි මරන්නේ නැතිව මුහුණට පේෂල්
කර කර ගත කරන කාලය නංගියාට අද අම්මා ලග ඉදගෙන නිදිමරාගෙන
මහන්සි වෙන්න වෙලා..
පව්..ඒත් අම්මට තියන ආදරය නිසා වෙන ඕනම දුකක් දරගන්න
පුලුවන් කියන හැගිමටයි මේ හැමදේම කරන්නේ..
නැතිනම් පයින් මිටර් 100ක් ගියත් මට මහන්සියෝ..කියාගෙන ගෙට එන
කෙල්ල...


අම්මාට හොදටම නින්ද ගියා..ඔපරේෂන් තියටර් එකට ගන්න කොටත්
නිදි. හේෂාන්ගේ නංගි/ගල්කිස්සේ ගංගා අක්කා සේරම උදව් කරන නිසා
පරක්කු නැතිව ඔපරේෂන් එකට ගනීවි. අක්කා නම් පුරුදු පරිදි පරක්කු වෙලා
හරි වෙලාවට ඔන්න මෙන්න කියලා ආවා.




ඒත් අම්මගේ ඔපරේෂන් එක ඉවර වෙනකල් හෙල්ලෙන්නෙ නැතිව
පිරිති කිය කිය තියටර් එක ලග ඉදලා..හිටගෙනම..


බුදු සරණින් අම්මගේ ඔපරේෂන් එක හොදට කෙරුනා.
අම්මව ඉක්මනින් ගෙදර එක්ක යන්න පුලුවන් උනොත් හරි.

Tuesday, May 8, 2012

අක්කගේ යාලුවෝ...



අද හවස අක්කගේ ඔෆිස් එකේ යාලුවො ආව අම්මව
බලන්න.. අම්මත් කතා කරන්න කැමති නිසා ලෙඩෙ අම්මට
දැනෙන විදියට මුල ඉදන්ම අග වෙනකල් කියනවා.
එයාලත් අහගෙන හිටියා..


ඒත් එයාලා ඇත්තටම සියලු දේවල් දන්නවා. නොදන්න එකම කෙනා
අම්මා විතරයි. ඒත් අම්මා තමන්ගේ ලෙඩේ හැර අනෙක් සියලුම දෙවල්
දන්නවා කියලයි මම නම් හිතන්නේ.


අක්කගේ යාලුවෝ ගියාට පස්සෙ අම්මා කියනවා.
අක්කගේ යාලුවො නම් හරිම හොදයි. නැතිනම් චම්පිට
මගේ ලගට වෙලා ඉන්න බැනේ දවල් කාලයට කියලා.
ඒත් අම්මෙ තව කී දවසක් අක්කට අම්ම ලගින් මෙහෙම ඉන්න
පුලුවන්ද කියලා කව්ද දන්නෙ..

Monday, May 7, 2012

දාන පාරමිතාව



"පුතා අර ඇදේ ඉන්න ආච්චිට කෑම
නෑ වගේ..
ගෙදරින් ආවෙ නෑ අද උදෙත්.
ගිහින් ‍මොනා හරි කන්න දෙන්න.
පිං සිද්ධ වෙනවානේ".


හවස කෑම අරන් ගිය ගමන්ම වයසක ආච්චි කෙනෙක්ව
පෙන්නලා අම්මා කිව්වා.
ඒ ආචිචි වැටිලා කකුල කැඩිලා.
මම අම්මට ගෙනිච්ච බිත්තර ආප්පයක් දුන්නා.
මේ පිනෙන් අම්ම මතු අත්බවයක වත් මෙවන්
ලෙඩ දුකකට පත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලා.


ඒ ආච්චිට කෑම එක දිල එනකොට අම්ම කියනවා
"දැන් මම නොකෑවත් කමක් නෑ. මගේ බඩ පිරුනාවගෙ තමයි."
මම කිව්ව ‍එහෙම හරියන්නෙ නෑ කියලා කොහොම හරි ඉදිආප්ප 2-3ක්
කවා ගත්ත මමයිට් එක්ක.


කැකිරාවෙ ගෙදර ඉන්නකොට කොච්චර වත් බඩගිනියි කියාගෙන එන
හිගන මනුස්සයෙක්වත් කෑම නොදී යවන්නෙ නෑ. අම්මගෙ බත් එක හරි
දීලා බඩගින්නෙ ඉන්නවා. අද ලෙඩ ඇදෙ ඉදන් හරි හිතන්නෙ අනික් කෙනාගෙ
බඩගින්න..


බුදුන් ‍වගේ දාන පාරමිතාව පුරනවාද කොහෙද.



එහෙම හිතන අම්මට ඇයි මෙහෙම උනේ..

Thursday, May 3, 2012

හැමදෙයක්ම කෙරිලද?


අද අම්මව බලන්න ගියාම අම්ම අහනවා දැන් කොහොමද පුතා
නංගිගේ වෙඩින් එකේ වැඩ. හැම දෙයක්ම කරලද? මට කොච්චර නම්
වැඩ කරන්න තියනවාද ? ඒත් බලන්නකො කවද නම් යන්නද?


නෑ අම්ම කලබල වෙන්න එපා. අපි හැම දේම බලල කරලා තියෙන්නෙ.
හැමදේම හොදින් වේවි. අම්ම හිතන්නෙ නැතිව අසනීපය සනීප කරගන්නකො..


ඔව්.. ලංකා පුතාගේ වගේම දෙමව්පියොත් හරිම හොදයි. මට බොධිපූජා තිබ්බා.
සෙත් කවි කිව්වා.. බලන්න වෙන අයනම් කරයිද? කාලයක් තිස්සෙ ඉදන් ඉන්න
පව්ලෙ ‍අය වගේ හිතවත්. බලන්න ලංකා පුතා උනත් දැන කී සැරයක් වැඩ අස්සෙ හරි මාව
බලන්න ආවද? එහෙම තමා හොද දෙමාපියන්ගෙ දරුවො.. සැපේදි විතරක් නෙවි දුකේදිත්
ලග ඉන්නවා.

Wednesday, May 2, 2012

පඩි අරන් තවම සතියක් ගියේ නෑ....


අප්‍රේල් පඩි අරන් තවම සතියක් ගියේ නෑ.
බැංකුවේ රුපියල් 3000/-යි තියෙන්නෙ. අනික් එකවුන්ට් එකේ නංගිගේ
වෙඩින් එකට තියන සල්ලි. ඒක ගන්නත් බෑනේ.මැයි මාසේ 25 වෙනකල් ‍
ඉන්නත් ඕන ආයේ පඩි ගන්න. අම්මා අසනීප වුන දවසේ ඉදන් මේ වෙනකොට
ලක්ෂ 4-5කට වඩා වියදම්. නිතර කතා කරන සැපදුක් අහන කවුරුත් නාහන ප්‍ර‍ශ්නය තමා
සල්ලි තියනවාද මේ වෙලාවෙ කියලා.   පෙරේදා හවස අම්මාව බලල බෝඩිමට නොගිහින් 
කල්පනා කර කරම අචලගේ කාමරේට ගියා.
අචල අම්මා ගැන විස්තර අහලා " උබට ගොඩක් වියදම් ඇති නේද
රවි. දැන් නංගිගෙ වැඩත් කරන්න තියනවානේ."  එකනම් එහෙම තමා පුලුවන් විදියට කරනවා
මචං කියලා සද්ද නැතිව හිටියා.  මට කාගෙන්වත් සල්ලි ඉල්ලන්න හිත 
දෙන්නෙ නෑ.. ඌත් ඒක දන්නවා.
"මචං උබෙ එකවුන්ට් නම්බර් එක දියං. එතකොට හදිසියක් උනොත් විතරක් 
කියපන් මට ඒකට සල්ලි කියක් හරි දාන්න පුලුවන්නෙ" කියලා මගේ නම්බර් එක
ගත්තේ..

අද දවල් අම්මට කෑම දීලා එනකොට බැංකුවෙ ඉතිරි 3000න් 2500/-
ගන්නම් කියලා මම බැංකුවට ගිහින් බලද්දි බැංකු පොතේ 83000/-ක් 
තිබුනා. මම හිතුව හරි අචල සල්ලි දාලා.
කෝල් කලාම ඌ කියනවා "උබ කවදාවත් ‍මගෙන් සල්ලි ඉල්ලන්නෙ 
නැති නිසා මම දැම්මා. මතකද උබට මගේ තාත්ත නැති උන වෙලා‍වෙ
මගෙත් එක්කම බැංකුවට ගිහින් රු 500ක් තියාගෙන උබ රු 30000ක්
දුන්නා. ඒ වෙලාවෙ මගේ අතේ තිබුනෙ රු 400යි රවි. ‍
ඒක මට අමතක වෙන්නෙ නැ.  අද මගේ ලං සල්ලි තියන නිසා මේක උබ ගනින්.
හදිසියක් නෑ. තිබුන දවසක දියං. නංගිගේ වෙඩිං එකටත් මම උදව් කරන්නම්
උබ බයවෙන්න එපා. නුදුන්නත් මම තරහා වෙන්නෙ නෑ උබ දන්නවනෙ මං ගැන?" 

උත්තර දෙන්න වචන තිබුනෙ නෑ හොයාගන්න.

Tuesday, May 1, 2012

මැයි දිනේ....



උදේ අම්මව බලන්න ගියා. එත් අද දවල් හවස දෙකේම අම්මව බලන්න යන්න
බැරි උනා. මැයි දිනේට පාරවල් වහලා. අම්මට කෑම අක්කා අරන් ඇවිත්.
අක්ක අම්මා ලග දවල් ඉදන්ම.
පවු ඉන්දික අයියටත් හොදටම උණ. ඒත් අම්මා ලග අක්ක නතර වෙලා.


ඉන්දික අයියත් අම්මට ගොඩාක් ආදරෙයි.. ඒ නිසාම හැම කරදරයක්ම
අපිත් එක්කම දරා ගන්නවා. ඒකත් ලොකු ශක්තියක් අපි හැමෝටම.
මනුස්සකම කියන්නෙ මෙකටයි..


නින්ද යන්නෙ නෑ. හවස අම්මා බලන්න යන්නබැරි උන එක ගැන දුකයි.
පාර වහලා තිබුනට මට තිබුනේ කොහොම හරි යන්න. අම්මට කතා කලා.
ඒත් හිතට දුකයි.